20 සීගිරි වෙනස

මම අන්තිමට සීගිරියේ රැයක් ගතකළේ මීට අවුරුදු දහයකට විතර ඉස්සර. එතකොට මට වයස දොලහක් විතර ඇති; තිස්ස මල්ලී ඉපදිලත් නෑ! ගෙදර එතරම් වෙනසක් පෙනෙන්ට නෑ. ගේ ඉස්සරහ පොඩියට තිබුන දෙහි වැල දැන් පලාතක් යටකරලා. එතන තිබුන කොස් පැලේ පීදිලා. කජුගහ යට බංකුවට අළුත් ලෑල්ලක් ගහලා.

අප්පච්චියි අම්මයි වයසට යන බවට වඩා ගෙදර අවට වෙනස්කම් දකින්නේ ඇයි කියලා මට හිතුනා. ඇත්තටම කිව්වොත් ඒ අය අනුරාධපුරේ දැකපු නිසා අමුතුවෙන් වැඩි වයසක් පෙන්නෙන්ට නෑ. අනික අනුරාධපුරේදී මං දකිනකොට අම්මයි අප්පච්චියි හිටියේ මහංසියෙන් වගේම නුපුරුදු පලාතක. තමංගෙම ගෙදර ඉන්නකොට හිතයි ඇඟයි දෙකම තැන්පත්. ඊට සම්පූර්නෙන්ම වෙනස් තිස්ස මල්ලී - අර අම්මා කියනවා වගේ ‘පය දාච්චි බල්ලා වගේ’ – එහෙ මෙහෙ දුවනවා; හිමින් ගමනක් නෑ.

තිස්සට ‘අයියෙක්’ ගෙදර ඉන්න එක අමුතු අත්දැකීමක්. අනුරාධපුරේදී මගෙ පැලේ නැවතිලා හිටියත් එකට කෑවත් බීවත් ඒවා තමංගෙම ගෙදර සිද්ධ නොවූ දේ. ඒ නිසා වෙන්න ඇති තිසා මගෙ පස්සේ ආවේ දවස පුරාම - අමුත්තෙකුට වගේ අවට දේ මට පෙන්න පෙන්නා.

“මේ දෙහි වැලේ තරමට දෙහි හැදෙන්නෙ නෑ මෙහෙ කොහෙවත්!”

“මට මතකයි තිසා ඕක - ඒ කාලේ හරිම පොඩී; මෙන්න මෙච්චර විතර උසයි”

“බොරූ! මේ කොස්ගහත් ඒ කාලේ තිබුනද?”

“ඔවු හැබැයි පීදිලා නෑ… අම්මා කියන්නේ තිසාට පංසලේ අකුරු ඉගෙනගන්ට බෑ කිව්වා කියලා… ඒ මොකද?”

“වැඩක් නෑනේ අයියා… මං මොනවා ලියන්ටද! අනික ඒ හාමුදුරුවන්ට ඕන මට කියලා පොල් පුවක් ඇහිඳින්ට - පුස්කොලපොත් එලියට ගන්නේ ඒ වැඩ කරාට පස්සේ!”

“ඒකේ වැරැද්දක් නෑ මල්ලී… වැඩක් කරන එකෙමුත් යමක් ඉගෙනගන්ට පුළුවන්”

“අයියා මොනවද කරේ?”

මට හිනා ගියා.

“ඇත්තටම මට කිසි වැඩක් තිබුනෙ නෑ! ඒ දවස්වල හිටපු ලොකු හාමුදුරුවෝ අපෙ රිටිගල ලොකු හාමුදුරුවොත් දන්නවා…”

“දැන් උන්නාන්සේ රිටිගල ලොකුහාමුදුරුවෝ ගැන කතා කරනවටත් කැමති නෑ… මං අනුරාධපුරේ ගිහින් ආවට පස්සේ කිව්වා රිටිගල ලොකුහාමුදුරුවෝ කියපු බන ගැන - අර වෙදරාලගෙ ගෙදරදී… උන්නාන්සේ කිව්වේ ‘ඔය භාවනා කරලා, බන කියලා විතරක් ආගම රකින්ට බෑ!’ කියලා. අකුරු ඉගෙන ගන්න එකත් ඕනෑවට වඩා හිතට ගන්ට හොඳ නෑ කියලා. මට හිතෙන්නේ ඒක වැරදි… හැබැයි මම අම්මට එහෙම ඒක කිව්වෙ නෑ!”

“මං කතා කරලා බලන්නංකෝ”

අම්මටයි අප්පච්චිටයි කතා කරන්ට ඉස්සර මට ඕනවුනේ ටිකිරිත් එක්ක මේවා ගැන කතා කරගන්ටයි. අපි දෙන්නා හවස්වෙලා වැව පැත්තට ඇවිදින්ට ගියේ නිදහසේ කතාකරන්ට හිතාගෙන. නමුත් තිස්සත් අපි පස්සේ ආ නිසා කතාවට අස්ථාවක් ලැබුනේ තිස්ස පේර කඩන්ට පිටත් කිරීමෙන් පස්සෙයි.

අපි දෙන්නා වැව ලඟ ගල් වැටේ සැප පහසු ඇතිව වාඩි වෙනකන් වචනයක්වත් කතාකරේ නෑ.

“ටිකිරිට ඇතුලේ කාමරේ බිම නිදාගන්න එක අමාරු නැද්ද?”

“මේ මොනවා කියනවද - නැන්දම්මා මාව බලාගන්නේ පොඩි එකෙක් වගේ! ගෙදර වැඩ මොකවත් කරන්ටවත් දෙන්නෙ නෑ!”

“අම්මා එහෙම තමයි!... මං අහන්ට හිටපු තව එකක් අපි තව ටික කල් මෙහෙ හිටියට කමක් නැතිවෙයිද කෙල්ලේ?”

“ඇයි එහෙම ඇහුවේ?”

“මාමංඩිලාට පුළුවන්වෙයිද හේන් දෙකම බලාගන්ට? මං කියන්නේ අපි තව පසලොස්වකක් මෙහෙ නැවතුනොත්… ආයෙ කවදා එන්ට හම්බවෙයිද දන්නෙ නෑ පොඩි එකෙකුත් එක්ක…”

ටිකිරි ටිකක් වෙලා ඈත බලාගෙන හිටියා, කනගාටුවෙන් වගේ.

“සිරි අයියට අම්මා අප්පච්චී, තිස්ස මලයා එහෙම නිතරම හිතේ තියෙනවා නේද?”

ඒ සැරේ මමයි ඈත බලාගෙන හිටියේ කල්පනාවෙන්.

“අපි තිසාගෙ අනාගතේ ගැන හිතන්ට ඕනෑ. ගමේ පංසලෙන් කිසිම දෙයක් ඉගෙනගන්නෙ නැති පාටයි මට පෙනෙන්නේ. තිසාමයි කිව්වේ කරන පාඩම් වැඩක් නෑ කියලා. සමහරවිට රිටිගල ලොකුහාමුදුරුවන්ට බාර දෙන්ට කාලේ හොඳයි වගේ… අම්මටයි අප්පච්චිටයි මේ මොලෙන් බලන බලේ තේරෙන්නෙ නෑ… ඒක දියුණු කරන්ට අපි උදව් නොකරොත් බොහොම් වැරදියි… ලොකු අත්තයි ලොකු හාමුදුරුවොයි දෙන්නම ඒක අපිට බාරදීපු වැඩක්…”

“ඒක මාමංඩිත් එක්ක කතා කරගන්ට වෙයි නේද?”

“මං අප්පච්චිත් එක්ක කතාකරගන්නං. අමාරු වෙන්නෙ නෑ. අප්පච්චී දන්නවා ලොකු අත්තා කියපු දේ… තිස්සට පිහිටලා තියෙන… මොක හරි … ඒවා අප්පච්චිට නොතේරුනාට ඒවා ගැන නොදන්නෙ නෑ…”

ටිකිරි මගෙ අත අල්ලාගෙන ගල් බැම්මෙන් නැගිට්ටේ තිස්ස වැව්බැම්ම දිගේ එනවා දැකලයි.

…………………………..

මම අප්පච්චිත් එක්ක තිසා ගැන කතාකරගත්තේ කුඹුරට යන වෙලාවේ. එදා අම්මා ටිකිරියි තිසයි එක්ක පිදුරංගල පන්සලට දානේ ඇරගෙන යන නිසා අපිට තිසා ගැන කතාකරගන්ට ඕන තරම් නිදහස තිබුනා. මම මගේ අදහස අප්පච්චිට කෙලින්ම කිව්වා.

“අපෙ හාමුදුරුවෝ කිව්වා වගේ අපෙ පවුලේ අයට ලැබී තියෙන මොලෙන් බලන දස්සකම මල්ලිට හොඳින් පිහිටලා තියෙනවා. ලොකුඅත්තත් කිව්වේ ඒක අපතේ අරින්ට හොඳ නෑ කියලා. නරකද කොල්ලා රිටිගල යැව්වොත්?”

අප්පච්චී එක සැරේම උත්තර දුන්නෙ නෑ. යම් දවසක තිසා රිටිගල යැවෙන බව පැහැදිළිව පෙනුනත් ටික කාලයක්වත් ඒක කල්දමන්ට අප්පච්චී කැමතියි.

“එතකොට පිදුරංගල පංති?”

“තිස්ස කියන්නේ පිදුරංගල හාමුදුරුවෝ වැඩිය කියවන්ට ලියන්ට උගන්නන්ට කැමති නෑ වගේලු. පොල් පුවක් ඇහිඳිනවා දවසෙන් බාගයක් කියලා කියන්නේ… දැන් ඉතින් වයස නමයක් විතර වෙනවානේ…”

“බාල වැඩි නැද්ද පංසලේ නවතින්ට? උඹ ලොකු අත්තත් එක්ක ගමන් ගියේ වයස දොලහේදී නේද?”

“මං හිතුවේ අප්පච්චී… මං හිතුවේ ටිකිරියි මමයි තව මාසයක් විතර නවතින්ට මෙහෙ… එතකොට මට පුළුවන් තිසා බාරදීලා ඒ ගැන ලොකුහාමුදුරුවොත් එක්ක කතා කරගන්ට… මල්ලී දිගටම එහෙ ඉන්ට ඕන නෑ - දවස් තුන හතරකට සැරයක් ගිහින් දවස් තුනහතරක් එහෙ නැවතිලා ඉඳලා ආවොත් ඇති. අපෙ ලොකුහාමුදුරුවෝ උගන්නන්ට දස්සයි”

“මං අම්මට කතාකරන්නංකෝ. උඹලා දෙන්නා තව ටිකක් ඉන්න හින්දා අකමැති වෙනඑකක් නෑ”

අප්පච්චිගෙ කතාව ඇත්ත - අම්මා අපෙ අදහස් ගැන අකමැත්තක් පෙන්නුවේ නෑ.

“උඹලා තව ටිකක් කල් මෙහෙ ඉන්නවා කියාපුහම මම කොහොමද ආයෙ මොකවත් කියන්නේ? පොඩි එකා දැම්මම රිටිගල යවන එක හොඳයි කියලද උඹලා කියන්නේ?”

“මං අප්පච්චිත් එක්කත් කතා කෙරුවා… හැබැයි තිසාට කිව්වෙ නෑ අම්මලා අප්පච්චිලා මොකක් කියයිද කියලා දැනගන්ට ඉස්සර… මං හිතුවේ අපි ඔක්කොම ඉන්න වෙලාවක… අද හවස වගේ… තිස්සට කියමු කියලා… ඉස්සරවෙලා බලමු මොකද තිසා කියන්නේ කියලා”

අපි එදා හවසම කතාව පටන් ගත්තා. අම්මයි අප්පච්චියි ඉස්සරහ පිලේ ඉඳගෙන; අපි තුන්දෙනා මිදුලේ බංකුවක. ඉස්සරවෙලා කතා කරගෙන හිටි විදිහට අප්පච්චී කතාව පටන්ගත්තා.

“මේ ඇත්තද පොඩි එකා උඹ පිදුරංගල පංති වැඩක් නෑ කියලා කිව්වා කියන්නේ?”

තිසා ගැස්සිලා මා දිහා බැලුවා, හරියට මම් කේලමක් කිව්ව වගේ. මම පොඩි හිනාවකින් කොල්ලා දිරි ගැන්නුවා.

“අ… අප්පච්චී… ඒ හාමුදුරුවෝ හරියට මොකවත් කියලා දෙන්නෙ නෑ… වැඩියම පුවක් ඇහිදින්ටයි මිදුල අතු ගාන්ටයි ලිඳෙන් වතුර ගේන්ටයි තියෙන්නේ… අමාරු වැඩ නෙවෙයි… හැබයි මං කැමතියි අකුරු ඉගෙනගන්ට… අයියා වගේ…”

අම්මා සාමාන්යෙන් මේ වගේ තැනකදී වැඩිය කතා කරන්නෙ නෑ. නමුත් අද කතා කරේ කෙලින්ම තිසා දිහා බලාගෙන.

“උඹ අයියා වගේ වෙන්ට තව කල් තියෙනවා… හැබැයි උඹෙ අප්පච්චියි අයියයි දෙන්නම කියන්නේ රිටිගල ලොකු උන්නාන්සේ එක්ක කතා කරොත් හොඳයි කියලා… අපේම කෙනෙක්නේ…”

අම්මගෙ වචන ගානට මැනලා කතා කරේ. අප්පච්චියි මමයි කැමති වුනත් අන්තිමට රිටිගල ලොකු හාමුදුරුවෝ තමා අපිට කියන්නේ හරි මාර්ගය මොකද්ද කියලා. තිස්සගෙ හිනාවෙන් පෙනුනා අම්මගෙ කතාවේ වටිනාකම. අප්පච්චී ඒ වෙලාවේ කතා කරේ මට.

“සිරියෝ… උඹ රිටිගල යන්ටම ඕනද ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරගන්ට?”

අප්පච්චිගෙ වචනේ පිටිපස්සේ ලොකූ දෙයක් කියවුනා - මොලෙන් බැලීම සම්පූර්ණෙන්ම පිළිගැනීමක්.

“මං හිතුවේ තිසත් එක්ක ගිහින් ආවොත් හොඳයි කියලා … ඉස්සරවෙලාම තිසා ගැන කතා කරන හින්දා. මට පුළුවන් තිසාට පෙන්නන්ට පංසලයි, ඉන්න තැන් එහෙම… මං අහන්ටත් හිටියේ… අප්පච්චිටත් එන්ට පුළුවන්නම් හොඳයි…”

“මං මොකටද? උඹලනේ දන්නේ ඔව්වා ගැන”

අප්පච්චී මෙහෙම කිව්වේ ටිකිරි දිහා බලාගෙන. ටිකිරි පළමුවෙනි සැරේට කතා කරා.

“මාමංඩී අමමයි මායි තනිකරලා යන්ට කැමති නෑ… එක රෑකට ඕක මොකද්ද?”

අම්මත් කතාවට එකතුවුනා.

“ආයෙ අපිට මොකක් වෙයිද? ගොහින් ආවොත් හොඳයි නේද පොඩි එකාටත්”

අපි පහුවදා උදේම රිටිගල යන්ට තීරණේ කළා. රෑ කෑමට ඉස්සර මම ලොකු හාමුදුරුවන්ට කිව්වා ගමන ගැන.

………………………..

“කළු බංඩෝ ඇඟට මහන්සිද තිස්පැයක් ඇවිදලා?”

ඉර බහින්ට ඉස්සර අපි රිටිගලට ආවා. ලොකු හාමුදුරුවන්ගෙ කුටියට අපි ගියේ අබිත්තයා දීපු පොල්පලා බීලා ලිඳෙන් ඇඟ පත හෝදාගෙන ඉවරවෙලා. අප්පච්චී පොඩි බංකුවකත් තිස්සයි මමයි කුටිය ඉස්සරහ මිදුලේ පැදුරකත් වාඩිවෙලා අපි ලොකු හාමුදුරුවෝ කියනදේ අහගෙන හිටියා.කතා කරේ උන්නාන්සෙයි අප්පච්චියි විතරයි.

“ටිකක් කකුල් කැක්කුම එනවා අපෙ හාමුදුන්නේ… මේ කොල්ලොත් එක්ක පෙලට ඇවිදින්ට අපිට බෑ දැන්!”

“කවුරුත් වයසට යනවා… ඇඟපත දුරුවල වෙනවා… මං හිතුවේ දැන් මොකවත් කාල බීලා ඇලවුනොත් හොඳයි, බන මඩුවේ… සිරිටයි තිස්සටයි අර පරණ ගල් ගුහාව තියෙනවා. හෙට බැරියෑ කතා කරන්ට”

“අපෙ හාමුදුන්නේ… අපි හෙට ආපහු යන්ටයි හිතාගෙන හිටියේ”

“තව දවසක් හිටියට මොකද?... සිරීට පුළුවන් ටිකිරිට කියන්ට ඒක…”

අප්පච්චී කල්පනාවෙන් මා දිහා බැලුවා නමුත් මට කිසි දෙයක් කිව්වෙ නෑ. “එහෙනං අපිට අවසර” කියලා අප්පච්චී බංකුවෙන් නැගිට්ටා. අපිත් අප්පච්චිත් පස්සේ පඩිපෙල බැහැගෙන බන මඩුව පැත්තට ගියා.